Buddha Intelligence | විශේෂ ලිපිය – සෝතාපන්න ඵලය දුටු වෛද්‍ය ගාමිණී අභය සැබෑ බුදු පණිවුඩය පැහැදිලි කරයි.
15667
post-template-default,single,single-post,postid-15667,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

විශේෂ ලිපිය – සෝතාපන්න ඵලය දුටු වෛද්‍ය ගාමිණී අභය සැබෑ බුදු පණිවුඩය පැහැදිලි කරයි.

විශේෂ ලිපිය – සෝතාපන්න ඵලය දුටු වෛද්‍ය ගාමිණී අභය සැබෑ බුදු පණිවුඩය පැහැදිලි කරයි.

‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ‘ කෘතියේ රචක වෛද්‍ය ගාමිණී අභය, ලංකා නිව්ස් වෙබ් සමග කළ හෙළිදරව්ව

බුද්ධාගමෙන් නිවන් දකින්න බැහැ කියා මම මීට පෙර කිව්වා. ආගමක් කියන්නෙ මිත්‍යාවක්. බුද්ධාගම කියන්නෙ මනසින් මවාගත්ත, කැලේ අතරමං වුණු මිත්‍යාවක්. මේ ආගමෙන් කවදාවත් සත්‍යය, ඒ කියන්නෙ ප්‍රඥා ඇසට පෙනෙන බුද්ධ, ධම්ම සොයාගන්න බැහැ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා.

දර්ශනයක් කියන්නෙ ප්‍රඥා ඇසින් පෙනෙන දෙයක්. දැන් අපි බලමු, ආගම සහ මේ දර්ශනය අතර තිබෙන වෙනස මොකක්ද කියලා. මේ ආගමේ, මම කියන පුද්ගලයෙක් තමයි, ප්‍රධාන තැන ගන්නේ. ඒ ‘මම‘ කියන පුද්ගලයා තමයි, තීරණය කරන්නේ, මොකක්ද හොඳ මොකක්ද නරක.. මේක පින්.. මේක පව් යනාදී වශයෙන්. එහෙම නැතිව විශ්වයෙන් මේක හොඳයි, මේක නරකයි කියල කියන්නෙ නෑ. මේක පින් මේක පව් කියල කියන්නෙ නෑ. මම කියන කෙනා තමයි, ඒක තීරණය කරන්නෙ. එතකොට මම කියල කෙනෙක් හැම තිස්සෙම ඉන්නවා. නමුත් බුද්ධ දේශනයෙන් කියන්නෙ, මම කියල කෙනෙක් ඇත්ත වශයෙන්ම නැහැයි කියලයි.

එතකොට දර්ශනයේදී පෙන්නුම් කරන්නේ, අපි කියනවා අනත්ථ කියලා, අනාත්ම කියලා.. ඒකෙන් කියන්නේ මම කියල කෙනෙක් මේ ශරීරය තුළ නැත කියන එකයි. එතකොට ඒක සම්පූර්ණයෙන්ම කලින් කියූ දේ එක්ක විරුද්ධයි. ආගම පැත්තෙ ‘මම‘ ඉන්නවා. දර්ශනය පැත්තෙ එහෙම කෙනෙක් නැහැ.

මනස තනිකරම මායාකාරයෙක්!

ඊළඟට ආගම පැත්තෙන්, මේ හැම දෙයක්ම තීරණය කරන්නෙ මනස. මනස තමයි ලොක්කා. මනසින් තමයි අපිට කියන්නෙ කරන්න ඕනෙ මේකයි කියලා. මනස තමයි, අපිට උපදෙස් දෙන්නෙ. අණ දෙන්නෙ මනසෙන්. එතකොට මේ කයත් ඒ මනස කියන දේ කරනවා. නමුත් දර්ශනයෙදි අපි මනසින් නික්මෙනවා. මනස කියන මායාකාරයා, මැජික්කාරයාගෙන් අපි අයින් වෙනවා. මොකද මේ මැජික්කාරයා ක්‍රියාත්මක වෙලා ඉන්නකල් කවදාවත් දර්ශනයක් නැහැ. ඔය මැජික්කාරයා, බොහෝ දුරට ඉතා කාර්යක්ෂම ලෙස මැවීම ක්‍රියාත්මක කරනවා, බුද්ධාගමේදි. ඒ නිසා තමයි, මල් පහන් පූජා, බෝධි පූජා, පළතුරු පූජා යනාදී වශයෙන් එක එක පූජා කරන්න තීරණය කරන්නෙ ඔය මනසෙන්. නමුත් දර්ශනයෙදි අපි කියන්නෙ, මනසින් නික්මීම කියලයි. ‘‘යේ සුප්පයුත්තා මනසා දල්හේන -නෙක්ඛාමිනෝ ගෝතම සාසනං‘ කියලා. ඒ කියන්නෙ ගෞතම පණිවුඩය වන්නේ මනසින් නික්මීමයි.

නමුත් අපි බුද්ධාගමේදි කරන්නෙ මේ මනස අල්ලගෙන බදාගෙන ඒක පාලනය කරනවා. දියුණු කරනවා. ඒකට අපි භාවනා කියල කියනවා.

මනස බදාගෙන නිවන් දකින්න බෑ!

එතකොට කවදාවත් ඔය මායාකාරී මනස දියුණු කරලා නිවන් දකින්න පුළුවන්ද….? මොකද මනස දන්නෙ එක දෙයයි. මවන්න විතරයි. නැති දෙයක් තියෙනවා කිය කියා මවනවා. කවදාවත් මනසෙන් සත්‍යය පෙන්වන්නෙ නෑ. මනසෙන් සත්‍යය හොයාගන්න බැහැ. ඒක තමයි, දෙවැනි කාරණය.

ජීවමාන බුදුන්ගෙ රූපය දැකලත් නිවන් දකින්න බැරි නම්..

තුන්වැනි කාරණය තමයි, ආගම පැත්තෙදි අපි පංචේන්ද්‍රියයි මතකයයි පාවිච්චි කරනවා. පංචේන්ද්‍රියෙන් බලල තමයි අපි කියන්නෙ, අරක මලක්. ලස්සන මලක්. සුවඳයි යනාදී වශයෙන්. සුවඳ, දුම්, පහන්, ආලෝකය ආදී දේවල් පූජා කරනව කියල අපේ හිත සතුටු වෙන්නෙ ඒ නිසයි. පිළිමයක් කියන්නෙත් ඇත්ත වශයෙන් සිමෙන්ති ගොඩක්,නැතිනම් ගල් ගොඩක්නෙ. මේ මායාවම ඒ බුදු පිළිමයක් ඉස්සරහට ගිහින් හිතාගන්නවා, බුදු රජාණන් වහන්සේ මෙතැන ඉස්සරහ වැඩ ඉන්නවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම බුදු හාමුදුරුවො එතන නැහැ… ඇත්ත වශයෙන්ම බුදු හාමුදුරුවො වක්කලියට කියනවා, මාගේ රූපය දිහා බලලා, ඔබට බුදුන් දකින්න හම්බ වෙන්නෙ නෑ කියලා.. ඉතින් ජීවමාන බුදු හාමුදුරුවන්ගේ රූපය දැකලත් නිවන් දකින්නෙ නැත්නම්, මේ මැටිවලින් අඹපු, ගල්වලින් හදපු පිළිමයකට මල් පහන් පූජා කරල බුදුන් දකින්න පුළුවන්ද…? ඔබම තීරණය කරන්න.

මිනිස්සු ගස්-ගල්වලට වඳින්නෙ, භාවනා කරන්න කැලෑ වදින්නෙ බය වුණාම!

බුදු හාමුදුරුවොම කියල තියෙනවා, මිනිස්සු බය වුණාම ගිහින් ගල්වලට පර්වතවලට වඳිනවා කියලා. ඇත්ත වශයෙන්ම දැන් හාමුදුරුවරු විසින් මිනිස්සුන්ව බයකරල තියෙන්නෙ.. ඉතින් මිනිස්සු ගල්වලට පර්වතවලට වඳිනවා. ආරාමවලට යනවා. ඊළඟට භාවනා කරන්න කැලේට යනවා. ගස්වලට වැඳලා පිහිටක් ඉල්ලනවා. තමන්ට නිවන් දකින්න ඒවයින් පුළුවන් කියල හිතාගෙන ඉන්නවා. නමුත් එහෙම වැඳලා අවුරුදු 2100කට ම කවුරුත් නිවන් දැකල නෑ.

එහෙම ගහකට පුළුවන් නම් නිවන් දක්කන්න, බුදුරජාණන් වහන්සේ, බුදු පණිවුඩය වැඩක් නැහැනේ… ගහට කියන්න පුළුවන් වෙන්න ඕනෙනෙ, නිවන් දකින හැටි…

ඉතින්, අපේ අය මෙවැනි අඥානවන්ත වැඩ කරන්නේ ඇයි? ඒකට හේතුව, හාමුදුරුවරු විසින් මිනිස්සුන්ව නොමග යවලා තියෙනවා. බුදු හාමුදුරුවො කරන්න එපයි කියපුවා, මිනිස්සුන්ව බය කරලා මේව මේව කරන්න කියල කියනවා. ඒ ක්‍රමයෙන් මිනිස්සුන්ගෙන් ආධාර ඉල්ලගෙන තමන්ගෙ ජීවන ක්‍රමය සකස් කර ගන්නවා. අන්න ඒකට රැවටෙන්න එපා කියලයි මේ කියන්නෙ..

සල්ලිවලින් නිවන් යන්නෙ හාමුදුරුවෝ!

කවදාවත් නිවන සල්ලිදීල, මුදල් වියදම්කරල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.. නිවන කියන්නෙ තමා තුළින්, අභ්‍යන්තරයෙන් මතුවන දෙයක්. ඒ නිසයි, ‘‘පච්චතං වේධි තබ්බෝ‘‘ කියල කිව්වෙ.. අන්න එවැනි දෙයක් මතු වෙන්න නම් මුදල් වියදම් කරල කිසිම වැඩක් වෙන්නෙ නෑ. අපි මහන්සි වෙලා උපයා ගන්නා මුදල් ඒ විදිහට වියදම් කිරීමෙන් තමන්ටත් වැඩක් නෑ, අනුන්ටත් වැඩක් නෑ. ඒකෙන් ප්‍රයෝජනය ගන්නෙ මේ හාමුදුරුවරු…

මේ වන විට අපි කාරණා තුනක් කියා තිබෙනවා. ආගමේ ‘මම‘ කියල කෙනෙක් හිටියත්, බුද්ධ දර්ශනයේ එවැනි කෙනෙක් නැහැ කියන පළවෙනි කාරණය.. දෙවැනි කාරණය, මනස තමයි ආගමේ ක්‍රියාත්මක වෙන්නෙ. නමුත් බුද්ධ දර්ශනයෙදි මනසෙන් නික්මෙනවා. තුන්වැනි කාරණය, ආගමේදි පංචේන්ද්‍රියයි මතකයයි ක්‍රියාත්මක වෙනවා, නමුත් දර්ශනයෙදි ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රඥා ඇස.. මේක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.

සිත සිතා නිවන් දකින්න බෑ!

ඊළඟට ආගමේදි සම්පූර්ණයෙන්ම සිතනවා.. කල්පනා කරනවා.. මේක හොඳයි-මේක නරකයි.. මේක පින්-මේක පව් යනාදී වශයෙන්. නමුත් බුද්ධ දර්ශනයේදි පින්-පව්, හොඳ-නරක එතැන නැහැ.. ඒ වෙනුවට ප්‍රඥා ඇස ක්‍රියාත්මක වෙලා බුද්ධ-ධම්ම දකිනවා. එතැන ‘චේතෝ විමුක්ති‘ තිබෙනවා. ඒ කියන්නෙ සිතන එක නවතිනවා. ඒ නිසා ඔබට කවදාවත් සිත සිතා නිවන් දකින්න බෑ..

නිවන වහන ‘සිතිවිල්ල‘

දැන් අපි දානයක් දුන්නාම හාමුදුරුවරු කියනව නේද, හොඳ සිතිවිල්ලක් උපදවා ගන්න කියලා..? එතකොට නිවන් දකීද..? ඔය ‘සිතිවිල්ල‘ සම්පූර්ණයෙන්ම නිවන වහනවා.. හොඳ වුණත්, නරක වුණත් ඕනෑම සිතිවිල්ලක් විසින් නිවන වහනවා.

බුදු පණිවුඩයේ ‘පිළිපැදීම්‘ නැහැ!

ඊළඟට පස්වැනි කාරණය තමයි, බුද්ධාගමේ පිළිපැදීම් තිබෙනවා. ‘මම‘ කියල කෙනෙක් ඉන්නවා.. එයා පිළිපදිනවා. ‘හොඳ‘ වැඩ කරනවා. ‘නරක‘ වැඩ නොකර ඉන්නවා. අපි කියන්නෙ නෑ, හොඳ වැඩ නොකර ඉන්න කියලා. නමුත් ‘මම‘ කියන පුද්ගලයා මූලික කරගෙන, මේක හොඳයි, මේක නරකයි කියල තීරණය කරගෙන- සිත සිතා ආගමෙන් එවැනි දේවල් කළොත් කවදාවත් නිවන් දකින්නෙ නැහැ.

බුද්ධ දර්ශනයෙදි කියන්නෙ, ‘‘පච්චත්තං වේදි තබ්බෝ‘ ඒ කියන්නෙ තමන් තුළින් දැනගන්නවා, බුද්ධිමත් වෙනවා, තමා තුළින් මතුවන දැනුමෙන්, ඒ කියන්නෙ ප්‍රඥා ඇසෙන් දකින දැනුමෙන් සත්‍යය වැටහෙනවා. එතකොට මේ පංචේන්ද්‍රිය සියල්ල එළියට හරවලා තියෙන්නෙ. පංචේන්ද්‍රියෙන් පෙනෙන්නෙ එළියෙ තියෙන දේවල්. ස්පර්ශ වෙන්නෙ එළියෙ තියෙන දේවල්… ඇහෙන්නෙ එළියෙ තියෙන දේවල්.. නමුත් බුද්ධ දර්ශනයෙදි තමා තුළින්-ඇතුළතින් බුදු පණිවුඩය මතු වෙනවා. ප්‍රඥා ඇසින් දැනුමක් මතුවෙනවා. බුද්ධිමත් වෙනවා. අන්න ඒකයි, බුදු පණිවුඩය.

දැන්, ආගම්වලින් අපට කියා දෙන්නෙ කොයි තරම් මායාවක්ද කියා බලන්න.. දැන් ඔබට මේ ගැන යම්කිසි වැටහීමක් ඇති. බුද්ධ දර්ශනයෙන් විස්තර වන කිසිම දෙයක් බුද්ධාගමෙන් කියන්නේ නැහැ.. බුද්ධාගමෙන් කෙරෙන්නේත් නැහැ. අන්න ඒ මායාව වැළැක්වීමට තමයි, මේ ‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ, බුද්ධ දර්ශනයයි‘ කියන පොත ලිව්වේ..

https://lankanewsweb.net/sinhala/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/31159-%E0%B7%83%E0%B7%9D%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93-%E0%B6%85%E0%B6%B7%E0%B6%BA-%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D