Buddha Intelligence | විශේෂ ලිපිය. ‘‘සිවුරු දාගත්ත – ‘මම‘ තරකරන කිසිම කෙනෙක් කවදාවත් නිවන් දකින්නෙ නෑ!“ – වෛද්‍ය ගාමිණී අභය
15687
post-template-default,single,single-post,postid-15687,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

විශේෂ ලිපිය. ‘‘සිවුරු දාගත්ත – ‘මම‘ තරකරන කිසිම කෙනෙක් කවදාවත් නිවන් දකින්නෙ නෑ!“ – වෛද්‍ය ගාමිණී අභය

විශේෂ ලිපිය. ‘‘සිවුරු දාගත්ත – ‘මම‘ තරකරන කිසිම කෙනෙක් කවදාවත් නිවන් දකින්නෙ නෑ!“ – වෛද්‍ය ගාමිණී අභය

www.lankanewsweb.net 25.09.18

 

සිවුරක් දාගත් හාමුදුරුවරුන් නිවන් නොදකින හේතුව මෙයයි.

දාන, ශීල, භාවනා බුදු පණිවුඩය එහෙමත් නැතිනම් බුද්ධ දේශනය නොවේ යන්න මීට පෙර සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම, බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්ම චක්කපවත්තන සූත්‍රයේදී දොළොස් වතාවක් කියා තිබෙනවා, දාන සීල භාවනාවෙන් නිවන් දකින්න බැරි බව. ඒ වගේම බුද්ධ දේශනය “දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ” — “සීල වැනි දෘෂ්ටි වලට නොපැමිණ, දර්ශනය(යථා භූත ඤාණ) සාර්ථකවේ” යනුයි. නමුත් අපේ සමාජයට කියා ඇත්තේ දාන සීල භාවනාවල නිරත වෙන්න කියලයි. විශේෂයෙන්ම අපි සීලය ගැන සාකච්ඡා කළ යුතුයි.

සිල් පවාරණ කරවල ගෙදර යවන්නෙ, මිනිස්සු ආපහු පන්සලට ගෙන්වා ගන්නයි!

සිල් ගන්නට නම්, ‘කෙනෙක්‘ සිටිය යුතුයි. සිල් ගන්නෙ කවුද? ‘මම‘. සිල් දෙන්නෙ තව කෙනෙක්. එතකොට, මම කියල කෙනෙක් නැහැ කියන බුද්ධ දේශනයට ඒක විරුද්ධයි. සිල් අරගෙන, තමන් තෝරාගත් දේවල් හතරක් පහක්, පැය ගණනක් නොකර සිටිනවා. එහෙම නොකර සිටින්නේත් කවුද? ‘මම‘. සිල් දෙනකොට මොනවද කරන්නෙ කියල කියනවද? නැහැනෙ. හැමතැනම කියන්නෙ ‘වේරමණී‘ කියලා. වේරමණී කියන්නෙ නොකර ඉන්න කියන දේවල්. කරන දේවල් කියන්නෙ නෑ. එතකොට ‘සිල් සමාදන් වෙනව‘ කියල කියන්නෙ මොකක්ද කියල බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ලංකාවෙ පවත්වන සාකච්ඡාවලදි අපි බොහෝ තැන්වලදි අහනවා, ‘‘සිල් සමාදන් වුණු අය ඉන්නවා.මොකක්ද සිල් ‘සමාදන්’ වෙනව කියන්නෙ” කියලා. සිල් සමාදන් වෙන අය, සිල් සමාදන් වීමේ තේරුම දන්නෙ නෑ.

‘සමාදන්‘ කියන්නෙ ‘පිළිගන්නවා‘ කියන එකයි. ඔවුන් පිළිගන්න කෙනෙක් ඉන්නවා. පිළිගන්නෙ, ‘මම‘ කියන කෙනායි. එතකොට කවදාවත් නිවන් දකින්න බෑ. ඊට පස්සෙ ඒව පිළිපදින්නෙ කවුද? ඒත් ‘මම‘. ඊට පස්සෙ, ‘සිල් පවාරණය‘ කරගන්න කියල අපිට කියනවා. ඒක ලොකුම විහිළුවක්. පවාරණය කියන්නෙ, ආයෙත් සිල් පවරල යන්න ඕනෙ, සිල් දුන්න කෙනාට. ඒ මොකටද…?පන්සිල් විතරයි, ගෙදර ගෙනියන්න පුළුවන්. අටසිල් ගෙදර ගෙනියන්න බෑ. ඔවුන් ඒව බාරදීල ගිහින්, ආයෙත් සිල් ගන්න ආවම ඒවා ඉල්ලගන්න ඕනෙ! පන්සලට මිනිස්සු ඇදෙන ක්‍රමය තමයි, ඒ. මේකෙ කිසිම තේරුමක් නෑ. බුද්ධ දේශනයේ ඇත්ත වශයෙන්ම එහෙම ‘සිල්‘ කියල කිසිම දෙයක් නෑ.

සීලය ලෞකිකයි, ප්‍රඥාව ලෝකෝත්තරයි.

මෙතන මොකක්ද, ඇත්තටම සිද්ධ වුණේ..? බුද්ධඝෝෂ හාමුදුරුවො ‘‘සීලේ පඨිත්තාය නරෝසපඤ්ඤෝ‘ – ‘සීලයෙන් ප්‍රඥාව ලැබේ‘ කියලා විශුද්ධි මාර්ගය පොත පටන් ගත්තා. නිවන් දැකල නැතුවයි පොත ලිව්වේ කියපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු විශුද්ධි මාර්ගය පොතේ තියෙන ඒවා බුදුහාමුදුරුවෝ කියපු ඒවට වඩා ලොකුවෙලා. ඇත්ත වශයෙන් සීලය ලෞකිකයි, ප්‍රඥාව ලෝකෝත්තරයි. කවදාවත් ලෞකික දේකින් ලෝකෝත්තර ප්‍රඥාවක් ලබාගන්න බැහැ. ඉතින් මේ සිල් අරගෙන, කවදාවත් නිවන් දකින්න බෑ. ඒකෙන් සිද්ධ වෙන්නෙ, ‘මම‘ කියන එක තර වීම විතරයි.

හාමුදුරුවරු නිවන් නොදකින හේතුව

ඉතින් ඒක එසේ නම්, හාමුදුරුවරු නිවන් දකීවිද..?

ආරක්ෂා නොකළත්, කෝටියක් සංවර ශීලය තමන් විසින් ආරක්ෂා කරනව කියලා හාමුදුරුවරු කියනවා. ඒ කියන්නෙ ආරක්ෂා කරන්න ‘කෙනෙක්‘ ඉන්නවනෙ.. එතකොට සිවුරක් දාගත්ත, සීලය ආරක්ෂා කරන බව කියන, ‘මම‘ කියන කෙනා තර කරන කිසිම හාමුදුරු කෙනෙක් නිවන් දකින්නෙ නෑ!

නමුත් ඒ අය නේද අපිට බණ කියන්නෙ..? ඒ අය නේද මහජනතාවට කියල දෙන්න යන්නෙ, නිවන් දකින හැටි.. මේක හරියට අර හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ දෙයක්. ඒ විදිහට කවදාවත් සත්‍යය මුණ ගැහෙන්නෙ නෑ. ඒ අය නිවන් දකින්නෙත් නෑ – නිවන් දැකලත් නෑ. ඔවුන් කරන්නෙ, නිවන් නොදැක ඇවිත්, අනෙක් අයටත් නිවන් දකින මගක් ගැන කියල දෙන එක. අන්ධයො රැළක් තවත් අන්ධයො රැළකට මග පෙන්වනව කියල බුද්ධ දේශනයෙ තියෙනව නේද? මේකත් අන්න ඒ වගේ කතාවක්. කොහේ යනවද, කොහෙන් එනවද ඒ කිසිම දෙයක් දන්නෙ නෑ.

ඔහේ කටට එන දෙයක් කියමින්, පොතක ඇති දෙයක් කියමින් දෙවියන්ට, භූතයන්ට, යක්කුන්ට පින් දෙමින් ඔවුන් දේශනාව අවසන් කරනවා. දේශනාව අවසන් කරමින් කියනවා, ‘‘ආයු වණ්නෝ සුඛං බලං‘‘ කියලා. ආයු-වර්ණ-සුඛ-බල… කාටද? නැති මට… නමුත් වර්ණ ලබාගන්න, බල ලබා ගන්න ඔවුන් එහෙම කියනවා .බුද්ධ දේශනයෙ කොහෙද එහෙම බලයක් ලබාගැනීම ගැන කියන්නෙ…??

ඉතින් අන්න එවැනි මිත්‍යාවන්ට දැන් අපි අහුවෙලා.

සීලය කියන දේ එන්නෙ හින්දු – ජෛන ආගම්වල මිසක් බුදු පණිවුඩයේ නොවෙයි. ඒකයි “දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ” — “සීල වැනි දෘෂ්ටි වලට නොපැමිණ, දර්ශනය(යථා භූත ඤාණ) සාර්ථකවේ” කියල බුදුහාමුදුරුවෝ කිව්වේ.

මේ සීලය කියන එක සම්පූර්ණයෙන්ම හින්දු-ජෛන ක්‍රමයක්. හින්දු, ජෛනවල තමයි, ඔය විදිහට සිල් අරගෙන, හොඳ ජීවිතයක් ගත කරලා, මැරුණට පස්සෙ මහා බ්‍රහ්මයා එක්ක එකතුවෙන බව හින්දු-ජෛන ආගම්වල කියනවා. නමුත් බුද්ධ දේශනයේදි, ‘මම‘ කියල කෙනෙක් නැති බව සොයාගැනීම තුළින්, මේ ජීවිතයෙදි නිවන් දැකීම ගැන කියනවා. ඇත්ත වශයෙන් ‘මම‘ කියල කෙනෙක් හිටියෙත් නෑ කියල එතැනදි සොයාගන්නවා. මොකද, ප්‍රඥා ඇස මතුවෙනකොට, ඒ සෝතාපන්න යථාභූත ඥාණ දර්ශනයෙදි පෙනෙන්නේ ඇතිවෙන-නැතිවෙන ස්වභාවයක් විතරයි. නමුත් එතැන කෙනෙක් නෑ කියල අපි සොයාගන්නවා.

මේ සුළු සාකච්ඡාවෙන් අපි පෙන්වා දෙන්නේ, කවදාවත් සිල් ගත්ත කෙනෙක් සහ සිල් දෙන කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියන එකයි. සීලය ආරක්ෂා කරනවා කියල සිවුරු දාගත්ත කෙනෙක් කවදාවත් නිවන් දකින්නෙ නැහැ කියන එක අපිට දැන් පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන්. සෝතාපන්න දර්ශනය දැකලා, ප්‍රඥා ඇස මතුවුණාට පස්සෙ මේ හැම දෙයක්ම වැටහෙන්න පටන් ගන්නවා. මේ සියල්ලම ඇතුළාන්තයෙන් මතුවන දේවල්.

‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ – බුද්ධ දර්ශනයයි‘ කියන මේ කුඩා පොත රචනා කර තිබනේනේ, මේ වන විට සම්පූර්ණයෙන්ම නොමග යවා තිබෙන අපේ මහජනතාව එයින් ඉවත් කර, බුද්ධ දර්ශනය පැත්තට යොමු කරවා, බුදු පණිවුඩය බුද්ධ, ධම්ම පමණක් බව විස්තර කරන්නටයි.

පසු සටහන – ‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ, බුද්ධ දර්ශනයයි‘ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මේ වන විට නෙළුම්යාය ප්‍රධාන කාර්යාලයෙන් ලබාගැනීමට පහසුකම් සලසා ඇත. සතියේ දිනවල උදෑසන 10- සවස 6 දක්වා කාලය තුළ 0114-342646 අමතන්න. E mail – info@nelumyaya.com