Buddha Intelligence | 20. නිවන් දැක බුද්ධිමත් වීමට නම් මිථ්‍යාවලින් සෑදුනු සියලුම ආගම් අතහැරිය යුතුය.
15699
post-template-default,single,single-post,postid-15699,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

20. නිවන් දැක බුද්ධිමත් වීමට නම් මිථ්‍යාවලින් සෑදුනු සියලුම ආගම් අතහැරිය යුතුය.

20. නිවන් දැක බුද්ධිමත් වීමට නම් මිථ්‍යාවලින් සෑදුනු සියලුම ආගම් අතහැරිය යුතුය.

බුද්ධ දර්ශනය 19    නිවන් දැක, බුදුන් දැකීම බුද්ධ දර්ශනයයි. බුද්ධාගම වැනි ඇදහිලි ක්‍රමයක් නොවේ.

බුදුන් වහන්සේ අවුරුදු 45 ක් ම දේශනා කළේ නිවන් දැකීමයි. බුද්ධිමත් වීමයි. උන්වහන්සේට නිවන් දැකීමෙන් බුද්ධිමත් වූ නිසා ‘බුද්ධ, සර්වඥ‍’ යැයි කියනු ලැබේ. බුදු පණිවුඩය ආගමක් නොවන බව බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වා දේ. එහි උන්වහන්සේගේ උපදේශය මැනවින් සඳහන් වේ. එනම්, ආගම්වල බමුණු ජාලයට – දැලට (බ්‍රහ්මජාල) අසු නොවන්නයි. එහෙත් අද ලාංකික බුද්ධාගම් අදහන්නන් ළමා කාලයේ සිටම එම දැලට අසු වී ඇත. එම දැල් දමන්නේ සිවුරු දරාගත් කිසිදා නිවන් නොදකින හාමුදුරුවරුය. මෙය දැනගත් නුවණැත්තෝ දැන් ක්‍රමයෙන් ආගමෙන් ඈත් වී සිටිති.

ආගමෙන් ඈත් වූ, පෙර බුද්ධාගම ඇදහූ පන්සියයකට අධික පිරිසක් දැන් ලංකාවේ නිවන් දැක සෝතාපන්න තත්ත්වයට පත්ව සිටීම මෙයට කදිම උදාහරණයකි. සනාථ වීමකි.

නිවන් දැකීමට අවශ්‍ය දේ පමණක් තමා ප්‍රකාශ කළ බව උන්වහන්සේ දෙසුවත්, ඉන්පසු ලෞකික ජීවිතය ඈඳා ගත් නොයෙකුත් අනවශ්‍ය දේවල් ත්‍රිපිටකය ඇතුළු ආගමික පොත්වල ලියා ඇත. එවැන්නක් බිහිවීමෙන් සිදු වූයේ ලෝකෝත්තර වීම වචනයට පමණක් සීමා වුණු, ලෞකික ජීවිතය සාර්ථක කරනවා යැයි පවසන ආගම් මතු වීමය. බුදුන් වහන්සේ හැර ආගම් කර්තෘවරුන් ප්‍රකාශ කළේත් බුද්ධිමත් වන හැටියි. නමුත් ඒවාද විකෘත වී ආගම් බවට පරිවර්තනය වී ඇත. ආගමික කර්තෘවරුන්ගේ නම් ඈඳා ගනිමින් සෑදුනු ආගම් (බුද්ධාගම ඇතුළුව) ඒ කර්තෘවරුන්ගේ මූලික පණිවුඩය භූමදාන කොට ඇත.

අද ලංකාවේ පවතින තත්ත්වයෙන් එය මනාව පැහැදිලි වේ. බුද්ධිමත් දාර්ශනිකයන්, විද්‍යාඥයන්, සත්‍යය ප්‍රකාශ කිරීමට බිය නොවන්නවුන් පහළ වීම වෙනුවට ආගම් බදාගත් මොළ මොට්ට කරන පූජකවරුන් (සෑම ආගමකම) පහළ වී ඇත. ඔවුන් සදාචාර නාමයෙන්, ආගම්වල කර්තෘවරුන්ගේ නාමයෙන් ළමා කාලයේම හය-හතර නොදන්නා දරුවන්ගේ සිඟිති මොළ මොට්ට කරනු ලැබේ. මොළ සෝදනු ලැබේ. පෙර පාසල්වලදී පටන් අසත්‍යය ළමයින්ගේ මොළවලට බස්සනු ලැබේ. මෙසේ ළමා කාලයේදී මොළ දූෂණය කරන ලද අය පසුව දෙමව්පියන් වී ඔවුන්ගේ ළමයින්ටද එයම කරති. ළමයින් බුද්ධිමත් වීමට ඉඩකඩ ඇහිරීම ඔවුන් අතින් නොදැනුවත්වම සිදු වේ. ළමයින්ට නිදහස් චින්තකයන් වී බුද්ධිමත් වීමට මෙසේ අවසර නොලැබේ.

ඉරිදා පාසල්වල මෙය අනිවාර්යෙන්ම සිදුවන දෙයකි. අද ලංකාව එවැනි ක්‍රියාවලින් අඥානවන්තයන් බිහිකොට ඉතා පහත් තත්ත්වයකට වැටී ඇත. මෙවැනි ආගමික ක්‍රමවලින් බිහි වූ දූෂිත, අසත්‍ය ප්‍රකාශ කරන, හොර වැඩටම සිත යොමු වූ, නීතියට ගරු නොකරන පූජකවරු හා දේශපාලුවන් අද රට හා මහජනතාව මංකොල්ල කති. අද රටේ ‘හොර කළාට කමක් නෑ’, ‘නීතියට විරුද්ධ වුනාට කමක් නෑ’ යන වදන් පූජකවරුන්, විශේෂයෙන්ම හාමුදුරුවරු පවසති.

ඔවුහු අදින්නාදානා වේරමනී (නොකරමි) යැයි උදේ සවස පවසමින් අන්සතු මුදල්, ඉඩ-කඩම් රැස් කරති. සුරාමේරය වේරමනී කියමින් මත්පැන් පානය කරති. මත්ද්‍රව්‍ය භාවිතා කරති. කාමේසු මිච්ඡාචාර වේරමනී යැයි කියමින් ස්ත්‍රීන් සේවනය කරති. අහෝ ඛේදයකි! ඛේදය නම් මොවුන් වටා ළදරු කාලයේ සිටම පෙර සඳහන් පරිදි නොමග යවන ලද ජනතාව රොක් වී සිටීමයි. මෙවැනි ජනතාව ඔවුන්ගේ බුද්ධිය ආගමෙන් මොට්ට වී ඇති බව නොදනිති.

අද මුදලට ඡන්දය ලබාගත හැක. මුදලට පැති මාරු කළ හැක. නිවන ද මුදලට ලබා ගැනීමට හාමුදුරුවරු උපදෙස් දෙති.

අප රටේ බුද්ධිමතුන් පහළ නොවීමට, විද්‍යාඥයන් පහරළ නොවීමට, දාර්ශනිකයන් පහළ නොවීමට, රට නොකඩවා ගැඹුරෙන් ගැඹුරට ණයගැති නොවීමට මූලික හේතුව ආගම්ය. ආගමකින් මොළ වැසුණු විට ප්‍රඥා ඇස පහළ නොවේ. කිසිම හාමුදුරු කෙනෙක් නිවන් දැක නැත්තේ ඒ නිසයි. ඔවුන්ගේ මොළ පිරිවෙන්වලදී සෝදා දූෂණය කොට ඇති හෙයින් නිවන් දැකීමක් සිදු නොවේ. කෙසේ වෙතත් ත්‍රිපිටකය ලිව්වාට පසු කවුරුත් නිවන් දැක නැත. ‘මා පිටක සම්පදා’ – ‘පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නොවේ’ යන බුදු වදන වාසනාවකට මෙන් තවමත් එහි කලාම සූත්‍රයේ ඇත.

පැවිදි වනවිට බුදුන් වහන්සේ ඉදිරියේ ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡි කරත්ථාය…….’, ‘මේ සිවුර දාගන්නේ සියලු දුක්ඛ නැතිකොට නිවන සාක්ෂාත් කිරීමටය’ ආදී වශයෙන් පවසා, උන්වහන්සේව ද හාමුදුරුවරු රවටා ඇත. ඒ වෙනුවට ඔවුන් දූෂිත දේශපාලුවන්ට උපදෙස් දෙති. ඒ උපදෙස් මොනවාද ? තව තවත් දූෂිත වීමටය. දූෂිත වීම වැඩිවෙත්ම තව තවත් ඔවුහු දේශපාලුවන්ව වර්ණනා කරති. දේශපාලකයන්ට උපදෙස් දෙන බව මහණ වනවිට බුදුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වී නැත. එවැන්නන් නායක, මහා නායක පදවි දෙන, රට විනාශ කරන්නන් සමග එකතු වී දිනෙන් දිනම රට ප්‍රපාතයකට ඇද දමති.

ආගම් තදින්ම අල්ලා ගත් මැද පෙරදිග රටවල් හැමදාම යුද්ධ කරති. කිසි දියුණුවක් නැත. ආගම් අතහැරි අපරදිග රටවල් අතිශයින්ම දියුණු වී ඇත. ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් බුද්ධමතුන් බිහිකෙට තව තවත් දියුණු කිරීමට රජයේ පාසල්වල ආගම් ඉගැන්වීම තහනම් කොට ඇත.

එහෙත් ආගම් නිසා පහතට වැටී ඇති ලංකාව දිනපතා තව තවත් මිථ්‍යාව බලා ගමන් කරනු ලැබේ. එයට මූලික වන්නේ පූජකවරුය. විශේෂයෙන්ම හාමුදුරුවරුය.

නිවන් නොදැකපු බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය පොතේ අවසානයේදී ඔහු ලියන ලද ‘මම නිවන් දැක්කේ නැත. පසු කලෙක දෙව්ලොව ගොස් මෛත්‍රී බුදුන් දැක පසුව නැවත මේ පෘථිවියට පැමිණ නිවන් දකින්නට බලාපොරොත්තු වෙමි’ යන අදහස් ගෙන පෝෂණය වූ දැනට පවතින බුද්ධාගම, නිවන් දැකපු බුදුන් වහන්සේගේ වචනයට එරෙහිව පැනනැගී ඇත්තේ කෙසේදැයි සොයා බැලිය යුතුය. නිවන් දැකීම කෙසේ වෙතත් අද හාමුදුරුවරු “විභජ්ජවාදී කතිකාවත” යැයි කියමින් රැස්වීම් පවත්වා ඔවුන්ගේ දූෂිත ජීවන ක්‍රමය සකසා දුන් බුද්ධඝෝෂ හිමි වර්ණනා කිරීම පුදුමයක් නොවේ.

රටේ මිථ්‍යාව පතුරුවා කිසිදා නිවන් නොදකින, ඥාන පහළ නොවන, හාමුදුරුවරුන් හා ඔවුන් පසුපස යන දේශපාලුවන්ව මහජනතාව කොන් නොකළොත් රටට වන අභාග්‍යය ප්‍රඥාවට දැන් පැහැදිලි වී ඇත.

ඒ නිසා මහජනතාව වහාම අවදි විය යුතුය. මෙය කල් දැමිය හැකි දෙයක් නොවේ.

පසු සම්බන්ධයි.

– ගාමිණී අභය –
www.buddhaintelligence.org