Buddha Intelligence | 21. ”බුදු සසුන විනාශ කරන හිස් මිනිසුන් මතු වන්නේ සසුන තුළින්ම ය” – සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය –
15703
post-template-default,single,single-post,postid-15703,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

21. ”බුදු සසුන විනාශ කරන හිස් මිනිසුන් මතු වන්නේ සසුන තුළින්ම ය” – සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය –

21. ”බුදු සසුන විනාශ කරන හිස් මිනිසුන් මතු වන්නේ සසුන තුළින්ම ය” – සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය –

බුද්ධ දර්ශනය 20.        සිවුරු දාගත් අය නිවන් මග නොදන්නා බව අද ලංකාවේ සියයට 90 ක් පමණ ජනතාවට තේරුම් ගොස් ඇත.

ඒ අතර චීවරධාරීන්ගේ විනය සාමාන්‍ය ජනතාවගේ හැසිරීමට වඩා පහත් තත්වයකට වැටීම නිසාද මහජනතාව ඔවුන්ගෙන් ඈත් වී සිටිති. මෙවැනි තත්වයක් ඉතිහාසයේද විස්තර වේ. කොසොල් රජු දුටු සිහින මෙකල සැබෑවීමට හාමුදුරුවරුන්ම උදව් දී ඇත. එළදෙනක් පැටියාගෙන් කිරි බොන තරම් දුරට සමාජය පිරිහෙන බව එවැනි සාහිත්‍ය කෘතීන්ගෙන් හෙළි වේ.

අද හාමුදුරුවරුද එවැනි තත්වයකට පිරිහී ඇත. ඔවුහු මත්පැන් පානය කරති. ස්ත්‍රීන් ඇසුරු කරති. ව්‍යාපාර, ජාවාරම් කරති. මහජනතාව නොමග යවා මුදල්, ඉඩ-කඩම් ලියා ගනිති. මේ සියලුම දේවල් සිදු වන්නේ බුදුන් වහන්සේගේ නාමයෙන්ය. සිවුරක් දමා ගන්නා විට ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරත්තාය…..’ ආදී වශයෙන් බුදුන් වහන්සේ, දෙමව්පියන් හා ගුරුවරුන් ඉදිරිපිට දුන් පොරොන්දු අමතක වී ඇත. ඔවුන් ඒ පිළිබඳ මතක් කළවිට පවසන්නේ ‘මට නිවන් දකින්න වුවමනාවක් නැත’ යන්නයි.

මෙවැනි බුදු දහමට අපහාස කරන හාමුදුරුවරු සමග අතළොස්සක් ජනතාව තවමත් ඇළී සිටිති. ඔවුන්ගේ මොළ සෝදා ඉදිරි ජීවිතයක නිවන් දැකීමට මේ ජීවිතයේදී හාමුදුරුවරුන්ට සැප පහසුකම් ලබා දී බලාපොරොත්තු වන ලෙස අනාථ කොට ඇති බව තේරුම් ගත යුතුය.

පසුගියදා සිවුරු හැඳගත් කෙනෙක් පොලිස් නිළධාරියෙකුගේ ගෙළ මිරිකා මරා දමන ලදී. මහණ කරන බව පොරොන්දු වී තවත් චීවරධාරියෙකු ළමා අපචාර කර ඇති බව ප්‍රසිද්ධ වී ඇත. ළමා අපචාර අද බොහෝ පන්සල්වල සිදුවන බව ප්‍රචාරය වී ඇත. මෙවැන්නන්ට උපකාර කරන මහජනතාව ද ඉදිරියේදී අපවාදයට ලක් වී සමාජයෙන් කොන් වනු ඇත.

මේ අතර පිරිසිදු නිවන් මග දැන් විවෘත වී ඇත. එය පහදා දෙන්නේ චීවරධාරීන් නොව ගිහියන් විසිනි. ගිහියන් දැන් චීවරධාරීන්ට වඩා බුදුදහම ගැන දනිති. ගිහියන් චීවරධාරීන්ට වඩා හික්මීමෙන් යුක්ත ය.

සමහර චීවරධාරියෝ ජනතාව රැවටීමට, මා විසින් සත්‍ය ධර්මය පිළිබඳව ප්‍රකාශ කර ඇති කරුණු බණ දේශනාවල කියන්න පටන් ගෙන ඇත. බුදුන් වහන්සේ සත්‍ය ධර්මය අන් අයට ප්‍රකාශ කිරීමට අවසර දුන්නේ සෝවාන් වූ අයට පමණි. ඔවුන් යථාභූත දර්ශනය ප්‍රඥා ඇසින් දැක ඇති නිසා නිවැරදිව තමන් දුටු දෙය ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති නිසාය. යථාභූත ඥාන දර්ශනය ප්‍රඥා ඇසින් නොදැක මනසින් පොත්වලින් අදහස් ගෙන ප්‍රකාශ කිරීම බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇත. සත්‍ය ධර්මය දුටු අය සාමීචිපටිපන්න ලෙසින් හැඳින්වේ. මිත්‍ර කතා කීමට, කල‍්‍යාණ මිතුරෙක් වීමට ඔවුහු සුදුස්සෝ වෙති. සත්‍ය ධර්මය නොදැක කියන්නෝ සතුරෝය. බුදු වදනට විරුද්ධව චීවර දරන්නෝ සෝතාපන්න නොවී මහජනතාව නොමග හැරීමට ජනතාව ප්‍රසිද්ධියේම විරුද්ධත්වය ප්‍රකාශ කළ යුතුය. ඉඩ නොදිය යුතුය. ඔවුන්ට කිසි දැකීමක් නැත. සීලය ආරක්ෂා කරන්නේ ‘මම’ නිසා කවදාකවත් ‘මම’ නැති බුද්ධ, ධම්ම දැකීමට ඔවුහු අසමත් වෙති. සිල් අරගෙන නිවන් දකින්නැයි යෝජනා කළේ නිවන් නොදැක පොත් ලියූ බුද්ධඝෝෂ හිමිය. ඔහු ද සිල් අරගෙන නිවන් නොදුටු කෙනෙකි. දැන් පන්සල්වලට සිල් ගන්න යන්නේ අතළොස්සක් වූ ඉතාමත් අන්ධ වූ භක්තිකයන් පමණි. බුදුන් නොවදාළ සිල් ගැනීමකට උපදෙස් දෙන්නෝ කරන්නේ බුදුදහමට අපහාසයකි.

බුද්ධඝෝෂ හිමිගෙන් පසු සීල ක්‍රමයට කවුරුත් නිවන් නොදැකි බව කිවයුතු නොවේ. එනමුදු අද උගත් යැයි කියන වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥයෝ, කළමනාකරුවෝ, ගණකාධිකාරීවරු වැනි අය තවමත් පන්සල් බදාගෙන සිටිති. ඔවුහු මෝඩයෝය. හිස් මිනිසුන්ය. පිරිසිදු බුදුදහම විනාශ කොට ආධිපත්‍යයකින් ගොඩනැගූ බුද්ධඝෝෂ ආගම අනුව ජීවන ක්‍රමයක් සකසා ගත් චීවරධාරීන්ට අතදීම ඔවුන් නතර කළ යුතුය.

පන්සල් නිසා රට දියුණු වීමට බැරි තත්වයකට පත්ව තිබේ. චීවරධාරීන් නිසා නිවන් දැකපු බුද්ධිමත් ජනතාවක් බිහි කිරීමට බැරි තත්වයක් උදා වී තිබේ. ඔවුන් නීතිගරුක නැත. සමාජය පිළිකුල් කරන ක්‍රියාවල නිරත වෙති. බුදුන් වහන්සේ ඉදිරියේ දුන් පොරොන්දු ද ප්‍රසිද්ධියේ කඩ කරති.

එපමණක් ද නොව චීවරධාරීන් ඔවුන්නොවුන් අතර කුළල් කා ගනිති. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පැහැර ගනිති. තමන් හරි දෙය නොදැන අනුන් වැරදි යැයි ප්‍රකාශ කරති. අවුරුදු 2100 කට පසු, අද මතුවී ඇති නිවන් මග දැනගැනීමට යොමුවීම නොයෙකුත් ආකාර මිත්‍යා ප්‍රචාරවලින් නතර කරති. චීවරධාරීන් ජනතාව නිවන් දැක බුද්ධිමත්වීමට අකමැතිය. බුද්ධඝෝෂ හිමි විසින් නිර්මාණය කරන ලද බුද්ධාගම මගින් බුද්ධ දර්ශනය මතුවීමට ඔවුහු අවහිර කරති.

පන්සල් ආධිපත්‍යය නිසා ජනතාව බුද්ධිමත් වීම වැළැක්වීම පමණක් නොව දේශපාලකයන් ද ඔවුන් සමග ඇළී සිටීම ලංකාවේ පරිහානියට කරුණකි. දූෂණ සිදුවීමේ මූලික හේතුව මෙවැනි පරිසරයක අධ්‍යාපනය ලැබීමය.

පන්සල්වලින් දැන් සංකේත කරන්නේ නීතියට විරුද්ධ වන බවය. ජාතික සමගියට විරුද්ධ වන බවය. දූෂණවලට අතදීමය. නිවන් නොදැකීමය. බුද්ධිමත් නොවීමය. බුදුන් වහන්සේගේ නම විකුණා මුදල් ඉඩ-කඩම් එකතු කරමින් දුශ්චරිත ජීවිත ගත කිරීමය.

ඒ නිසා ඔබ රටට, අනාගත පරපුරට ආදරයක් ඇත්නම්, රට දියුණු වීමට, බුද්ධිමත් වීමට, නිවන් දැකීමට ජනතාව පන්සල්වලින් හා සෑම ආගමකම පූජකවරුන්ගෙන් ඈත් විය යුතුය.

රටේ දියුණුවට නීතිය ක්‍රියාත්මකවීමට පන්සල දැන් බාධාවකි. අවහිරයකි. පන්සල්වලින් හා පන්සල්වල අරක් ගෙන සිටින නිවන් නොදකින බුද්ධඝෝෂ අනුගාමිකයන්ගෙන්, පන්සල්වලින් ඈත් වී රට බේරා ගනිමු.

මෙකල නිවන් මග පැහැදිලිවම විවෘත වී ඇති නිසාත්, දැනටමත් ලංකාවේ නිවන් දැකපු අය 500 කට අධික නිසාත් මෙවැනි දෙයක් සිදුවීමට වාතාවරණය සැලසී ඇත.

– වෛද්‍ය ගාමිනී අභය

www.buddhaintelligence.org/

පසු සම්බන්ධයි.