Buddha Intelligence | 23. බුද්ධිමතුන් යනු කවුරුන්ද? බුද්ධිමත් වන්නේ කෙසේද.. ? ………. පළමු කොටස.
15719
post-template-default,single,single-post,postid-15719,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

23. බුද්ධිමතුන් යනු කවුරුන්ද? බුද්ධිමත් වන්නේ කෙසේද.. ? ………. පළමු කොටස.

23. බුද්ධිමතුන් යනු කවුරුන්ද? බුද්ධිමත් වන්නේ කෙසේද.. ? ………. පළමු කොටස.

මමත්වය තරවීම අද රට තුළ භයානක ලෙස දැකිය හැකි පහත් ගතියකි. මෙයට හේතුව කුමක්ද?

බුද්ධිමත් වීමේ නොවරදින තථාගතයන් වහන්සේ විසින් සොයාගත් ක්‍රමය බුද්ධ පරිනිර්වාණයෙන් අවු:500ක් පමණ කල් පැවතුණු බව ඉතිහාසඥයින්ගේ මතයයි. ලංකාවේ අන්තිම රහතන් වහන්සේ යැයි සැලකෙන මලිදේව මහරහතන් වහන්සේගෙන් පසු අවුරුදු 2100ක් කිසිම බුද්ධිමතෙකු (මාර්ගඵල ලාභියෙකු) ලොව පහළ වූ බව අසන්නට නැත.ඊට පෙර දස දහස් ගණනින් බුද්ධිමතුන් වැඩ සිටි බව පොත්වල සදහන් වේ.

පොත් කියවා දේශනා අසා විභාග ආදිය සමත් වූ ආචාර්ය මහාචාර්ය කථිකාචාර්යවරු, වෛද්‍යවරු, ගුරුවරු යනාදීන් විඥානවන්තයන් මිස බුද්ධිමතුන් නොවේ. ඔවුන් මනසෙන් අවදි වී දැනුම ලබාගන්නා අය නිසා ය. ඔවුන් තමන් උගත් ‍දේ ආශ්‍රයෙන් යම් යම් මතවල රැඳී අලුතින් දැනගන්නා දේ ද පෙර මතකයන් සමග සන්සන්දනය කරමින් යම් දෙයක් සිතිවිල්ලක් තුළින් තෝරාගන්නා අයයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට විවෘතව නිදහස්ව බුද්ධ ස්වභාවයෙන් යම්දෙයක් තෝරාගත නොහැක. බුද්ධිමත් වීමට නම් පළමුව කිසිම පැත්තකට බර නොවී විවෘතව යම් දෙයක් තොරුගැනීමට මනසේ ඇති හැකියාව මතුකර ගත යුතුයි. ඊට පසු මනසෙන් නික්මීමට සැරසිය යුතුය. හරි වැරදි තෝරන්නේ ‘මම‘ නැමැති පුද්ගලයා මනස තුළ සිතිවිල්ලක් තුළිනි. එසේ ‘මම‘ මුල්වී හරි වැරදි සෙවීමට යාමෙන් මමත්වය තව තවත් තහවුරු වී බුද්ධි වැඩීමට අවහිරයක් වේ. බුද්ධිමතුන් යනු තමා තුළ ඇති ‘බුද්ධ ගුණය‘ මතු වී බුද්ධිමත් වූ අයයි. ඔවුන් ඥාණවන්තයන්, ප්‍රඥ්ඤාවන්තයන්, බුද්ධිමතුන්, මාර්ගඵල ලාභින් ලෙස හැඳින්වේ.

තමා තුළින් බුද්ධ මතුවී බුද්ධිමත් වීමේ තථාගත දේශනය, නොපෙනෙන අපෙන් පිටත ඇති අන් දෙයක් ගැන සඳහන් නොවේ. එය තමාගේ ශරීරය තුළ නිරන්තරයෙන් තමා නොදැනුවත්වම සෑම මොහොතකම සිදුවන ක්‍රියාවලිය දැක ගැනීමකි. තථාගතයන් වහන්සේ රෝහිතස්සට මෙසේ පවසා ඇත.(මේ ශරීරය තුළ ලෝකයත් ලෝකය හට ගැනීමත් නිරෝදයත් මාර්ගයත් පනවමි- රොහිතස්ස සුත්‍රය) එම නිසා තමා තුළ ඇති සත්‍ය තමා තුළින් සොයා බලා බුද්ධිමත් වීමට කිසිම ආගමකින් ජාතියකින් කුලයකින් වර්ණයකින් සොයාබැලීමට අවශ්‍ය නැත. එයට උස් පහත්, දුප්පත් පොහොසත් භේදයක් නැත. එයට පෙර දන් දී සිල් රැක භාවනා කර තිබිය යුතුද නැත. එයට හේතු වන්නේ තථාගත දේශනය පෙර නොඇසූ දහමක් (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු) ගැන මිස පෙර ඇසූ මනසෙන් මවාගත් දහමක් ගැන නොවීමයි. එදා පස්වග මහනුන් උත්සාහ කළේ දාන, සීල, භාවනා හා පිණ්ඩපාත යනාදී දේ කිරීමෙන් සත්‍යය මතුකර ගැනීමට තැත් කිරීමයි. තථාගතයන් වහන්සේ එය ‍එසේ නොවන බව ‘‘මා මේ දේශනා කරන්නේ ඔබ පෙර නොඇසූ ධර්මයක්‘‘ යන්නෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත.

බුද්ධිමත් වීමේ තථාගත දේශනය ‘මම‘ මුල් වූ ආගමක් නොවේ යැයි තථාගතයන් වහන්සේ විසින් බ්‍රහ්මජාල සුත්‍රයේ පෙන්වා දී ඇත. එය දර්ශනයකි. නමුත් එය පංචේන්ද්‍රියත් මනසත් මතකයත් මුල්වී ඇති වන සිතිවිල්ලක් තුළින් තාර්කිකව ගොඩනගාගත් සිද්ධාන්තමය දර්ශනයක් නොවේ. එය සෝතාපන්න වන අවස්ථාවේ ප්‍රඥා ඇසින් දකින සත්‍යයකි. එම දැකීම බුද්ධිමත් වීමයි. වැදගත් කරුණ නම් බුද්ධිමත් වන්නේ- බුද්ධ දකින්නේ කෙනෙකු නොවන බවයි. බුද්ධිමත් වීමේ තථාගත දේශනය තුළ මොන යම් තැනක කෙනෙකු ගැන සඳහන් නොවේ. එය තමා තුළින් ධම්ම බුද්ධ මතුවී බුද්ධිමත් වීමයි. (ධම්ම බුද්ධ යනු කෙනෙකු හෝ පුද්ගලයෙකු නොවේ). බුද්ධිමත් වීමේ තථාගත දේශනය ආත්ම නොව අනාත්ම බව බොහෝ දෙනා අමතක කරති. තවද තථාගතයන් වහන්සේ බුදු දහම ඇත්තේ තමා තුළ බවත් තථාගතයන් දෙස බලා සිටිමෙන්, ගෞරව කිරීමෙන්, පූජා කිරීමෙන්, ගුණ ගායනා කිරීමෙන්, පිළිම නිර්මාණය කිරීමෙන්, මල් පූජා කිරීමෙන්, බෝ ගස් වැඳීමෙන් බුද්ධ මතු නොවන බව පවසා ඇත. (‘‘වක්කලි මේ ශරීරය දෙස බලා සිටිමෙන් නුඹට ඇති ඵලය කුමක්ද? වහා ගොස් තමා තුළ ඇති බුද්ධ මතුකර ගන්න‘‘) එදිනෙදා ජීවිතයේදි සෑමවිටම අසන්නට දකින්නට ලැබෙන්නේ මම යන අදහස මතුවන මමත්වය තර කරණ දේවල්ම වීමද මිනිසා බුද්ධිමත් නොවීමට විශේෂ හේතුවකි.

මම යන මිත්‍යාව පවතින තාක් තමා තුලින් බුද්ධ මතුවී බුද්ධිමත් නොවේ .මම නැමැති අදහස ඇති වන්නේ මෙම ශරීරය සෑදී ඇති අවකාශ (ලෝක) අතර සිදුවන ගැඹුරු, පංචේන්ද්‍රියට හසු නොවන ක්‍රියාවලියක් හේතුවෙන් ඇති වන සිතිවිල්ල මුල් වීමෙනි. සෑම සිතිවිල්ලක් තුළම මම යන අදහස ගැබ්ව පවතියි. එවිට අවදිව සිටිනා සෑම අවස්ථාවකදීම මම සම්බන්ධ සිතිවිලි ඇතිවන නිසා මිනිසා විසින් සෑම විටම ‘මට ඉදිරියට හොඳක් වීමට, මගේ අයට හොඳක් වීමට හේතු වේ‘ යැයි සිතා පිරිත් නූල් බැඳීම, බෝධි පුජා, සෙත් කවි, පිච්චමල් පූජා, කඨිණ පූජා, අධිෂ්ඨාන බල පූජා, බාර හාර වැනි බුද්ධි හීන ක්‍රියා කිරීමට පෙළඹේ. තවද මමත්වය තර වීම නිසා රටවල් අතර යුද්ධ කෝලාහල ඇතිවීම ද, පවුල් අඩදබර ඇතිවීමද, තමා උසස්කොට අන්‍යන් පහත් කිරීම, අන් අදහස්වලට සවන් නොදී තමාගේ අදහස්ම නිවැරදි යැයි පැවසීම සිදු වේ. මෙය අද රටේ නීතිය තුළද දේශපාලනය තුළ ද දක්නට ඇති ඉතා බරපතළ- පහත් තත්වයකි.

දෙවන කොටස බලාපොරොත්තු වන්න..

– සිද්ධාර්ථ ජයතිස්ස