Buddha Intelligence | 27. බුද්ධ දර්ශනය 24 – ත්‍රිපිටකය වන්දනාවක් කර ගැනීම – ‘පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නොවේ’ යැයි දෙ‍සූ බුදුන් වහන්සේට කරන නිගාවකි
15734
post-template-default,single,single-post,postid-15734,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

27. බුද්ධ දර්ශනය 24 – ත්‍රිපිටකය වන්දනාවක් කර ගැනීම – ‘පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නොවේ’ යැයි දෙ‍සූ බුදුන් වහන්සේට කරන නිගාවකි

27. බුද්ධ දර්ශනය 24 – ත්‍රිපිටකය වන්දනාවක් කර ගැනීම – ‘පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නොවේ’ යැයි දෙ‍සූ බුදුන් වහන්සේට කරන නිගාවකි

පසුගියදා, දැනට අවුරුදු එකසිය පණහකට පමණ පෙර බුරුමයෙන් හා තායිලන්තයෙන් කොපි කරගත්, කියවුවහොත් නිවන් නොදකින ත්‍රිපිටක කොපියක් ජාතික උරුමයක් කර ගැනීමේ අඥානවන්ත ක්‍රියාව මදිවාට, දැන් එය වන්දනාවක් කර ගැනීම නිවන් මග නොදන්නා හාමුදුරුවරු මහජනතාව රැවටීම කරගත් උපායකි. හය-හතර නොදන්නා දේශපාලකයින්ද මෙවැන්නකට සහභාගි වීම රටට අපලයකි. බුද්ධිමත් අනාගතයක් රටේ බිහිවීමට අවහිරයකි.

බුදුන් වහන්සේ දේශනා කරන ලද දේවල්වලට හාමුදුරුවරු සම්පූර්ණයෙන් විරුද්ධ වන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුය. අවුරුදු 2100 ක් පමණ මහජනතාව රවටමින් නිවන ඉදිරි ජීවිතයකට කල් දමා සුඛෝපභෝගී, අනුන්ගෙන් යැපෙන, රටේ දියුණුවට කිසි වැඩක් නැති, අලසකාමී ජීවන ක්‍රමයක් ගොඩනගා ගත් චීවරධාරීන්ට, දැන් ගිහියන් අතර නිවන් දැකීමේ මග විවෘත වී ඇති නිසා යනඑන මගක් නැති වී ඇත. එහෙයින් මෙවැනි පොත් වන්දනා කරමින් ජනතාව මුළා කිරීමට තැත් කිරීමෙන් වන්නේ ඔවුන් මහජනතාව අතර තවත් අපකීර්තියට පත්වීමය.

ඉන්දියාවෙන් ලංකාවට පැමිණි ජෛන ආගමික, නිවන් නොදැකපු බුද්ධඝෝෂ හිමිගේ මනසෙන් මවා ගත් මතවලින් පෝෂණය වූ බුද්ධාගමේ පොත් වන්දනාව නිවන් දැකීමට කිසිසේත් සම්බන්ධ නැත. ‘පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නොවේ – මා පිටක සම්පදා’ යැයි දෙසූ නිවන් දැකපු බුදුන් වහන්සේගේ කියමන යටපත් කොට, නිවන් නොදැකපු බුද්ධඝෝෂ හිමිගේ ආගම නොහොත් ඇදහිලි ක්‍රමය පැතිරවීම හාමුදුරුවරු කරන්නේ එම ආගමෙන් ඔවුන්ගේ අලසකාමී ජීවන ක්‍රමය රැකෙන නිසාය.

නිවන් දැකීමේ මග පැහැදිලිවම, සැක නැතිව විවෘත වී ඇති මෙකල නිවන් නොදකින එහෙත් මහා බ්‍රහ්මයන් සොයා යන ‘බ්‍රහ්මචාරී, ජෛන, හින්දු’ ක්‍රමවේදයන්ට පහර වැදීම ඉබේ සිදුවන දෙයකි. දැනට පවතින බුද්ධාගම සම්පූර්ණයෙන්ම ජෛන, හින්දු මිශ්‍රණයකි. පිරිසිදු බුදුදහම බුද්ධාගම වූදා සිට කිසි කෙනෙකු නිවන් දැක නැත. එවැන්නක් සිදු වූයේ දැනට අවුරුදු 2100 කට පෙරය. එදා සිදු වූ විපර්යාසයෙන් නිවන් දකින පිරිසිදු බුදුදහම යටපත් විය.

මෙකල බුද්ධාගම නැවත බුද්ධ දර්ශනය වෙත පෙරළෙන සමයකි. එය සිදුවීමට බුද්ධඝෝෂ හිමිගේ බුද්ධාගම නැති වී, බුදුන් වහන්සේ දෙසූ බුද්ධ දර්ශනය මතුවිය යුතුය. බුද්ධාගම නැති වුවහොත් යන බියෙන් තැවෙන්නෝ දැනගත යුත්තේ බුද්ධාගම බුද්ධ දර්ශනය නොවන බවත්, බුද්ධාගමෙන් පිරිසිදු බුදු දැක්ම වැසී ඇති බවත්ය.

පොත් වන්දනාව අඥානවන්තයන්ගේ චාරිත්‍රයක් වී ඇත. එහි ලියා ඇති කිසි දෙයක් කියවා තමන්ම තේරුම් නොගෙන අනුන්ගේ අර්ථකථනයන්ට පුරුදු වී ඇති අයට මෙය අදහාගන්න බැරිය. අන් භාෂාවකින් ලියූ දෙයක්, තේරුම් නොදැන කටපාඩම් කිරීම අනර්ථය, ඵලදායක නොවේ. එය නිවන් මග වැසෙන දුප්පඤ්ඤ ක්‍රියාවකි.

බොහෝ දෙනා හා හාමුදුරුවරු නොදන්නා දෙයක් නම් නිවන් දැකීමෙන් වන්නේ පොත් නොකියවා සියල්ල දැනගන්නා ක්‍රමයක් මතුවීමය, බුද්ධිමත්වීමය. එයට ප්‍රඥා යැයි කියනු ලැබේ. එසේ නම් පොත් කියවීමෙන්, තේරුම දැනගෙන වුවද ප්‍රඥා මතුවන්නේ කෙසේද යන්න සොයා බැලීම උචිතය.

දැන් ලංකාවේ නිවන් නොදකින බුද්ධාගමේ කාලය සීග්‍රයෙන් අවසන් වීගෙන යයි. ඒ සමගම නිවන් දුටු අය මතු වේ. දැනට ලංකාවේ 500 කට අධික ප්‍රමාණයක් නිවන් දැක ඇත. ඒ කිසි කෙනෙක් සිවුරු දාගත් අය නොවේ. චීවරධාරීන් යනු හින්දු, ජෛන ආගම් සංකල්ප බුදුන් වහන්සේගේ නාමයෙන් පතුරවන්නෝය. ඔවුන් නිවන් දැක නැති හේතුව දැන් ඔබට පැහැදිලි විය යුතුය.

අනුන්ට නිවන් මග දේශනා කළ යුත්තේ තමන් නිවන් දැකීමෙන් පසුවය. එය ධම්මචක්ක පවත්තන සූත්‍රයේ පැහැදිලිවම බුදු උපදේශයක් ලෙස සඳහන් වේ. අද හාමුදුරුවරු මෙම වටිනා බුදු උපදේශයටද නිගාවන අයුරින් තමන් නොදන්නා දෙයක් අනුන්ට දෙසා ජනතාව අතරමං කරති. මෙවැනි දේවල් කරන්නේ ඔවුන්ගේ ජීවන ක්‍රමය රැක ගැනීමට හැර නිවන් දැකීම සඳහා නොවේ. බුදුන් වහන්සේගේ උදාහරණය අනුව අන්ධයින් තවත් අන්ධයින් රැළකට මග පෙන්වන්නාක් වැනිය.

හාමුදුරුවරු නිවන් දැකීම පිළිබඳව නොදන්නා බව හෙළි වී ඇති හෙයිනුත්, නිවන් මග නොදන්නා නිසාත් මහජනතාවට දැන් අමුතු උපදෙසක් දීගෙන යති. එනම්, නිවන් දැකීම බෞද්ධයින්ට අත්‍යවශ්‍ය නොවන දෙයක් බව ඔවුහු පවසන්නට පටන් ගෙන ඇත. මෙවැනි මිථ්‍යාවකට යොමු වූ කිහිප දෙනෙක් මට පෞද්ගලිකව හමු වී ඇත. මහජනතාව මෙවැනි මුළාවලට නොරැවටිය යුතුය.

ගිහියෝ පොත් වන්දනා පසුපස යන හාමුදුරුන්ට සෑම බෞද්ධයෙකුගේම පරමාර්ථය නිවන් දැකීම බව නැවත නැවත මතක් කර දිය යුතුය. ‘මා පිටක සම්පදා’ නැවත නැවත ඔවුන්ගේ දේශනවලදී ගිහියන් විසින් ප්‍රශ්න නැගිය යුතුය.

ත්‍රිපිටකය ජාතික උරුමයක් කළ, ත්‍රිපිටක වන්දනාවලට අත දෙන දේශපාලනඥයෝද අඥානවන්තයෝය. මෙවැන්නක්වත් නොතේරෙන පාලකයන්ගෙන් රටට දියුණුවක් ඇති වන්නේ කෙසේද ? ඔවුන්ට බුද්ධිමත් වීමේ මග එවැනි මෝඩ ක්‍රියාවලීන්ගෙන් වැසී ඇත. හාමුදුරුවරුන්ගේ කරපිටින් ඡන්දදායකයන් සමග එක්වන්නට තැත් කරන දේශපාලනඥයෝද බුද්ධාගම පහත වැටී පිරිසිදු නිවන් දැකීම මතු වනවිට, ඔවුන්ගේ බලයද අහෝසි වේ. සත්‍යය සමග ඔවුන්ට සටන් කිරීම අපහසු වනු ඇත.

තැටියේ ජලය රත්වන තෙක් කකුළුවන් දිය කෙලින්නාක් මෙන්ම, ඔවුන්ගේ දිය කෙළියද ඉදිරියේදී අවසන් වනු නොඅනුමානය.

නිවන් නොදැකපු බුද්ධඝෝෂ හිමි වර්ණනා කරමින් නොබෝදා පටන් ගත් හාමුදුරුවරුන්ගේ ‘විභජ්ජවාදී සමුළුව’ මහජන සහයෝගය නොමැතිව, අසාර්ථකව ඇණහිටියාක් මෙන්ම, කියවීමෙන් නිවන් නොදකින ‘ත්‍රිපිටක වන්දනා සමුළුව’ ද වැඩිකල් නොගොස් මහජනයා විසින්ම අවසන් කරනු ඇත.

ලංකාවේ ලියන ලද මුල් ත්‍රිපිටකය දැන් නැත. එය තිබුණත් මෙකළ අපට කියවිය නොහැකිය. එය ලියන ලද්දේ එවකට තිබුණු ඉරි කෑලි වැනි අකුරුවලිනි. රවුම් සිංහල අකුරු පටන් ගත්තේ 15 වැනි ශතවර්ෂයෙන් පසුවය. කලින් කලට යම් යම් දේවල් ඇතුළු කොට, යම් යම් දේවල් මකා දමා වෙනස් කරන ලද ඒ පොත කියවා කවුරුත් නිවන් දැක නැත. එය දැන් තැන් තැන්වල බුදු වදන් අඩංගු බමුණු ආගම් පොතක් බවට පරිවර්තනය වී ඇත. එහි අඩංගු වන්නේ බොහෝ හින්දු හා ජෛන සංකල්පයි. මනසිකාරය හා බමුණු ධ්‍යාන එවැනි උදාහරණ වේ.

මුල් ත්‍රිපිටකය බුද්ධඝෝෂ හිමි විසින් පුළුස්සා දමන ලද බවට සැකයක් ඇත. ඇතුන් තුන් දෙනෙක් උසට පිළිස්සීම සඳහා බුද්ධඝෝෂ හිමි විසින් පොත් ගොඩක් ගැසීමට උපකාරී වූයේ මේ ත්‍රිපිටකයේද පොත් විශාල වශයෙන් ඇති නිසාද යන්න සැකයකි. එසේ නොමැති නම් එපමණක් උසට පොත් ගොඩගැසීමට පොත් ලියූ ලේඛකයන් දහස් ගණනක් එකළ සිටිය යුතුය. එවැන්නක් ඉතිහාසයේ සඳහන් නොවේ.

මෑත කාලයේදී බුරුමයෙන් හා තායිලන්තයෙන්, දෙකේම එකඟ වන කොටස් පමණක් ලියාගෙන ආ මේ ත්‍රිපිටක කොපිය ජාතික උරුමයක් කිරීම හා වන්දනා කිරීම අනුවණ ක්‍රියාවකි. එවැන්නක් නිවන් දැකපු බුද්ධිමතුන් අනුමත නොකරති.

දැන් මේ බුද්ධාගමේ අවසාන කාලයයි. ඉදිරියේදී බුද්ධාගම සම්පූර්ණයෙන්ම නැතිවූ විට පිරිසිදු බුද්ධ දර්ශනය වන නිවන් දැකීම සීග්‍රයෙන් පැතිර යනු ඇත. එවිට ජනතාව නිවන් දැකීම වලක්වන, ජනතාව නිවන් දකිනවාට අකමැති හාමුදුරුවරුන්ට මුක්කු ගසන අය මෝඩයින් ලෙස හංවඩු ගැසී සමාජයෙන් කොන්වනු ඇත.

සත්‍යය මතුවීම එතරම් බලවත්ය. අසත්‍යයෙන් රවටා සාදාගත් ජීවන ක්‍රම, හිරු දුටු පිනි බිඳුවක් සේ අතුරුදන් වනු ඇත. සත්‍යය සමග අසත්‍යයට, මිථ්‍යාවට, දූෂණවලට සටන් කිරීමට බැරිය.

ඔබටද, ඔබගේ ළමයින්ටද බුද්ධිමත්වීමට නම් බමුණු ත්‍රිපිටක ආශ්‍රිත හාමුදුරු බණ දේශනාවලින් ඉවත් වී, පිරිසිදු නිවන් දකින ‘බුද්ධ දර්ශනයට’, එනම් නිවන් දකින ‘බුදු දහමට’ යොමුකළ යුතුය. එවිට සියල්ලන්ගේ ජීවිත සාර්ථක වන අතර රටද දිනෙන් දින දියුණුවට පත්වනු නොඅනුමානය.

– ගාමිණී අභය – www.buddhaintelligence.org

බුද්ධ දර්ශනය 23 – සීලය ආරක්ෂා කරන්නේ “මම” නිසා සිල් ගැනීම නිවනට අවහිරයකි