Buddha Intelligence | 28. කොරෝනා වෛරසය ඉවත් කිරීමට නොදන්නා භාෂාවකින් පිරිත් කීම, බෝධිපූජා කිරීම, පැන් ඉසීම වැනි මෝඩ ජෛන බමුණු ක්‍රියා කරන දුප්පඤ්ඤයින් සිටින රටක් කවදා දියුණු වේද ? – වෛද්‍ය ගාමිණී අභය
15786
post-template-default,single,single-post,postid-15786,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

28. කොරෝනා වෛරසය ඉවත් කිරීමට නොදන්නා භාෂාවකින් පිරිත් කීම, බෝධිපූජා කිරීම, පැන් ඉසීම වැනි මෝඩ ජෛන බමුණු ක්‍රියා කරන දුප්පඤ්ඤයින් සිටින රටක් කවදා දියුණු වේද ? – වෛද්‍ය ගාමිණී අභය

28. කොරෝනා වෛරසය ඉවත් කිරීමට නොදන්නා භාෂාවකින් පිරිත් කීම, බෝධිපූජා කිරීම, පැන් ඉසීම වැනි මෝඩ ජෛන බමුණු ක්‍රියා කරන දුප්පඤ්ඤයින් සිටින රටක් කවදා දියුණු වේද ? – වෛද්‍ය ගාමිණී අභය

‘යානීධ භූතානි……’ කියමින් කොරෝනා වෛරසය පැන්නීමට වෙර දරන අඥානවන්තයින් සිටින රටකි ලංකාව. රතන සූත්‍රය භූතයින් පැන්නීම වශයෙන් බුද්ධඝෝෂ හිමිට පෙර නොතිබූ බව මහාචාර්ය මාරසිංහ එහි ඉතිහාසය පිළිබඳ කරන ලද සෝදිසිවලින් අනාවරණය වී ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 1000 කට පමණ පසු එනම් දැනට අවුරුදු 1600 කට පෙර ලංකාවට පැමිණි ජෛන ආගම්වාදී බුද්ධඝෝෂ හිමිගෙන් පසු ලංකාවේ මෙවැනි ජෛන මත පැතිර ගොස් ඇති බව මහාචාර්ය මාරසිංහ ඔහුගේ පරීක්ෂණවලින් පෙන්වා දේ. දැනට හාමුදුරුවරු අද ජනතාව තවදුරටත් රැවටීමට බැරි නිසා තාවකාලිකව අතහැර ඇති මෛත්‍රී බුද්ධ සංකල්පයද බුද්ධඝෝෂ නිෂ්පාදනයකි.

බුද්ධ දර්ශනයේ භූත යනු සමාජයේ කතාවක් ලෙස පැතිර ගොස් ඇති භූතයින් නොවේ. එවැනි ජාතියක් සත්‍ය වශයෙන්ම නැත. එය ජෛන ආගම්කාර හාමුදුරුවරු මනසේ මවාගෙන, ජනතා‍වගේද මනස් විකෘති කරමින්, ඔවුන්ට නොදැනුවත්වම ඇතුළු කර ඇති සංකල්පයක් පමණි. බුදු පණිවුඩයේ භූත යනු ‘යථා තත්වය’යි. එනම් විශ්වය සෑදී ඇති අඩිතාලමයි. එයට ‘යථාර්ථය’ යැයි කියනු ලැබේ. සෝතාපන්න දර්ශනයේදී පෙනෙන යථාභූත ඥාන දර්ශනයේදී ඔය කියන භූතයින් නොපෙනේ.

‘භූත’ යන වචනය වැරදියට ගෙන මිනිසුන් නොමග හැර කවදාවත් නිවන් නොදකින හාමුදුරුවරුන්ගේ ජීවන ක්‍රමයක්, ඔවුන්ගේ ජීවිතය ගෙන ගිය හැකි ක්‍රමයක්, බුදුන් වහන්සේගේ නම විකුණාගෙන කන ක්‍රමයක් සකස්කොට ගෙන ඇත. මේවාට රැවටී උදව් කරන දුප්පඤ්ඤයින්ද ලංකාවේ හැමතැනම ඇත. එවැන්නන් බහුතරයක් සිටින රටක් දියුණු කළ නොහැක.

එය බුදු හාමුදුරුවන්ට කරන අපහාසයකි, අගෞරවයකි. ‘අපායක්’ ඇත්නම් ඔවුන් දැනටමත් එහි ආසන වෙන්කොට ගෙන ඇත. පැන් කල කිහිපයක් ඩිමෝ බට්ටෙකුගේ උඩ තබාගෙන යකඩ කටකින් පිරිත් කියමින්, පරිසරය දූෂණය කරමින්, පැන් ඉස ඉස යන අඥානවන්තයින් සිටිනා බව වේයන්ගොඩ ප්‍රදේශයෙන් අනාවරණය වේ. එසේම රටේ හැමතැනම මහා ඝෝෂා සහිත ශබ්ද විකාශන යන්ත්‍රවලින් පරිසරය දූෂණය කිරීමෙන් කොරෝනා පැන්නිය හැකි බව සිතීම මෝඩකමකි.

‘බෝධි පූජා’ බුද්ධාගමට එකතු කළේ මෑත කාලයේ සිටි පානදුරේ අරියධම්ම හිමිය. ඊට පෙර නොතිබූ දේවල් දැන් අධික ලෙස මුදල් වියදම් කොට නිවන් නොදකින හාමුදුරුවන්ගේ කූඨ ජීවන ක්‍රමයට රැවටී ඇති ජනතාව අප්‍රමාණය. ඔවුන් අතර උගත් යැයි කියන ගුරුවරු, දොස්තරවරු, නීතිඥයෝ, ගණකාධිකාරීවරු ආදියද අප්‍රමාණය. අහෝ ඛේදයකි !

දැන් කොරෝනාවලින් වැලකීමට ගස්වලට පූජා පවත්වන අය ලංකාවේ අප්‍රමාණය. එය රට පරිහාණියට යෑමේ ලක්ෂණයකි. ‘බහුං වේ සරණං යන්ති, පබ්බතානි වනානිච – ආරාම රුක්ඛ චේතියානි, මනස්සා භය තජ්ජිතා’ – ‘මිනිසුන් බිය වූ විට ගස්, ගල්, ආරාම, චෛත්‍යය ආදියේ පිහිට පතන බව – යන ධම්මපදයේ ඇති බුද්ධ වචනයට අගෞරව වන‍ සේ සෑදූ පානදුරේ අරියධම්ම හිමිගේ ජීවන ක්‍රමය දැන් ලංකාව පුරා පැතිර ගොස් ඇත.

කොරෝනා වෛරසය, දන්නා භාෂාවකින් කොයිතරම් කෑ ගැසුවත්, ආශිර්වාද කළත් පැන යන්නේ නැත. නොදන්නා භාෂාවකින් කෑ ගැසීම ගැන කිවයුතු නොවේ. බුද්ධඝෝෂ හිමි විසින් එකතු කරන ලද විශාලා මහනුවර සිදුවූවා යැයි පවසන භූත ආක්‍රමණය ඔහුගේ නවකතාවකි. බුදුන් වහන්සේ වැනි බුද්ධිමතෙකු එවැනි සම්පප්‍රලාඵ නොකියති.

රතන සූත්‍රය තේරුම් නොදැන කටපාඩමින් වෙනත් භාෂාවකින් කියන මොවුන් රටට විනයකි. මුළු ජනතාවම මෝඩ කරමින් මෙවැන්නන් සිටින තාක් රට දියුණු කළ නොහැක. මන්ද, රට දියුණු කිරීමට බුද්ධිමතුන් බිහිවිය යුතුය. දේශපාලනඥයින්ද මොවුන්ට අතදීම රටේ අභාග්‍යයයි.

රතන සූත්‍රයේ ඇති ‘යේ සුප්පයුත්තා මනසා දල්හේන – නික්කාමිනෝ ගෝතම සාසනම්හි’ – මේ මනාව තදින් බැඳුණු මනසින් නික්මීම ගෞතම පණිවුඩයයි – යන්න‍ නොදන්නා භාෂාවකින් කිය කියා මිනිසුන් රැවටීම හාමුදුරුවරු දිගටම කරගෙන යති. එම ගාථාවෙන් කියන්නේ භූතයින් පැන්නීම නොවේ. ඇත්ත වශයෙන්ම නැති දෙයක් (භූතයින් වැනි) නිර්මාණය කරන මනසින් (මනෝමයා) නික්මීම ගෞතම පණිවුඩය බව උන්වහන්සේ මෙහි අවධාරණය කරති. එසේ වුවද එහි තේරුම නොදැන මේ අඥානවන්තයෝ මුළු රටම නොමග යවති. බුද්ධ වචනය විකෘති කොට, කවටයට ලක්කොට මුදල් උපයා ගනිති.

සත්‍යය මතු වී නිවන් දුටු අය මෙකළ ලක්දිව සිටින අවදියක මෙවැනි මායාවන්, සත්‍යය නොවන බව පහසුවෙන්ම පෙන්වා දිය හැක. වගකීමක් සහිතව ප්‍රඥා ඇසින් මෙවැනි භූත නවකතා බොරු යැයි ඔප්පු කළ හැකි අවදියක ජනතාව නොමග යන්නේ ඇයිද යන්න ගැටලුවකි.

කොරෝනා වැනි වෛරස පැතිර යන අවදියක ජනතාව කළ යුත්තේ ශරීර සෞඛ්‍යය ආරක්ෂා වන, සෞඛ්‍යය නිළධාරීන් විසින් අනුමත කරන ලද දේවල් අනුගමනය කිරීමයි.

කොරෝනා පැන්නීමට කළ යුත්තේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් හා ඩීමෝ බට්ටාවලින් පරිසරය තව තවත් දූෂණය කිරීම නොවේ. පරිසරය දූෂණය කිරීමෙන් කොරෝනා වෛරසය සමග සටන් කළ හැකි ශරීරයේ ඇති ප්‍රතිශක්තියද හීන වේ.

තවද කොරෝනා වෛරසයට පිරිත් තේරේවි යැයි සිතා සිටින අය ‘ගිරි’ටත් වැඩිය නිඝණ්ඨයෝය, බමුණෝය. පිරිත් කියන අයටත් නොතේරෙන භාෂාවක් කොරෝනා වෛරසයට තේරේවිද ?

බුද්ධඝෝෂගේ නවකතාවකින් පටන් ගත් විශාලා මහනුවර දුර්භික්ෂය දැන් මහජනතාවගේ මනසින් ඉවත් කිරීමට කාලය පැමිණ ඇත. රතන සූත්‍රයේ ඇති ගාථාද එම නවකතාවට අනුකූල වන ‍සේ වෙනස් කොට ඇති බව මහජනතාව දැනගත යුතුය. එසේ වෙනස් කරන බවද බුදුන් වහන්සේ ආණි සූත්‍රයේ හා සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ පවසා ඇත.

ලංකාව දියුණුවීමට බාධා කරන දරුණු වෛරසය කොරෝනා නොවේ. ඊට වඩා බලවත් බුද්ධඝෝෂ විසින් ඇතුළු කරන ලද, නිවන් නොදකින හාමුදුරු වෛරසය දැන් ලංකාවේ අවුරුදු 1600 ක් පමණ කිඳා බැසගෙන ඇත. එය ඉවත් කිරීම සත්‍යය සොයා යන්නන්ට පහසුවෙන්ම කළ හැක. ඒ නිවන් දකින ක්‍රමය දැන් අවුරුදු 2100 කට පසු නැවත මතු වී ඇති නිසාය. කොරෝනා කෙසේ වෙතත් හාමුදුරු වෛරසය ඉවත් වන්නේ නිවන් දැකීමෙනි.

පෙර ලිපි
කොරෝනා වෛරසය බෝ නොවීමට සියලුම පාන් පිටි (Gluten) ආහාර නැවැත්විය යුතුය !